Sunday, November 27, 2011

Southern Lanka Express Highway (E 01) - ආශ්චර්යයේ පිවිසුම හෙවත් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය

This article is in Sinhala Unicode (SL). If you cannot read it please install Sinhala Unicode here. Thank you!
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය, එනම් කොට්ටාව සිට පින්නදූව දක්වා දිවෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය අද දින (නොවැ.27 ඉරිදා) සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී. එමගින් ගාල්ල සිට කොට්ටාව දක්වා පැයක පමණ කාලයකදී ගමන් කළ හැක. එය කාලය ඉතිරි කරගැනීමට, රථ වාහන තදබදය නැවැත්වීමට, ඉන්ධන වැයවීම අවම කරගැනීමට, සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම යුධ ගැටුම් වලින් පසු ලංකාවේ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති උදෙසාද අතිශයින් වැදගත් ආයෝජනයක් වන බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

Image credits - AFP : Ishara S. Kodikara
පළමු ප්‍රවේශ පත්‍රය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් අතින් ලබාගත් අතර එතුමාම අධිවේගී මාර්ගයේ ගමන් කළ පළමු වාහනය පදවාගෙන යාමද සුවිශේෂී අවස්ථාවක් වුණි. විවෘත කිරීමේ උත්සවය නැරඹීමට වර්ෂාවද නොතකා අතිවිශාල ජනකායක් රැස්ව සිටිනු දක්නට ලැබුණු අතර පාසල් සිසුන් මෙන්ම රංවල ජනකලා කේන්ද්‍රය ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංගයන්ගෙන්ද උත්සවය විචිත්‍රවත් විය.

කි.මී. 96ක් දිග දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මං තීරු 4කින් යුක්ත වේ. මාර්ගය අතරමැද සියලු පහසුකම් වලින් සමන්විත සේවා ස්ථානයක්ද පිහිටුවා ඇත. ඉදිකිරීම් කටයුතු වලින් 95%ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් යටතේ සිදුවී තිබීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. අද පස්වරු 6 සිට අධිවේගී මාර්ගය ජනතාව උදෙසා විවෘත කෙරුණි. 


වර්ෂ 2013 වන විට මෙම මාර්ගය මාතර දක්වාම ඉදි කිරීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින අතර පසුකාලීනව එය දීප ව්‍යාප්ත අධිවේගී මාර්ග ජාලයක් බවට පත් කිරීමටද සැලසුම් සකස් කර ඇති බව අද දින ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ලංකා දිවයිනේ කෙත් වතු, නිල් ගොයම්, පොල් රුප්පා වැනි මනරම් දසුන් මැදින් දිවෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ලෝකයේ මෙතෙක් බිහි වූ සුන්දරතම අධිවේගී මාර්ග අතරට එක්වන බව නම් නොඅනුමානයි... එය ශ්‍රී ලංකාවට "ආශ්චර්යයේ පිවිසුමක්"ම වී, දූෂණය වංචාව දුරලා සමෘධිමත් රාජ්‍යයකට මං පෙත් පාදන, වාසනාව කැන්දන, අපතේ නොයන ආයෝජනයක් වේවායි යන්න සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන පැතුමයි!


No comments:

Post a Comment

Your ideas and comments are highly appreciated. Please mention your name with them. Thank you!